පූනාව ජල ව්‍යාපෘතිය
“පිපාසයට දිය බිඳුවක්“
හේතු පාඨය
ජලය, වතුර, දිය ආදී කුමන නාමයකින් හඳුන්වනු ලැබුවද සියලු සත්ත්වයන්ගේ ජීවිත ජීවත් කරනු ලබන ස්වභාව ධර්මයෙන් සත්ත්වයාට ලබාදී ඇති විස්මිත දායාදයකි ජලය. සියලුම සත්ත්වයන්ට ජීවත් වීම සඳහා වාතය මෙන්ම ජලය අත්‍යාවශ්‍ය සාධකයකි. මිනිසුන්ට ආහාර නොමැතිව ටික කලක් ජීවත් විය හැකි වුවද ජලය නොමැතිව ජීවත් විය හැක්කේ ඉතා සීමිත කාලයකි. ස්වභාවධර්මය සමග ජීවත් වූ විශිෂ්ඨ ජන නායකයකු වන සියැටල් ප්‍රකාශ කළේ වනාන්තරය හා ජලය විකිණීමට කිසිවකුට අයිතියක් නොමැති බවය. කෞටිල්‍ය නම් වූ දාර්ශනිකයා කියා සිටියේ ලෝකයේ හොදම බීම පිරිසිදු ජලය කියාය. මේ පොලෝ තලයේ වෙසෙන මානවයාට හෝ තිරිසන් සත්ත්වයින්ට ජලය නොමැතිව ජීවත් වීමට නොහැකි බව සත්‍ය වන නමුදු මිනිසා ජලය හා පරිසරය රැකගැනීම පිළිබද දක්වන උනන්දුව හා කැපවීම කිසිසේත්ම සතුටුදායක නැත.
දිනෙන් දින කාර්මීකරණය වන සමාජ වටපිටාවක මෙන්ම හුදු අස්වැන්න වැඩිකර ගැනීමේ හා අලෙවිකරණ අවශ්‍යතා මත පදනම් වූ කෘෂි රසායනික භාවිතයෙන් ආඨ්‍ය වූ ගොවිතැන් රටාවකට මුහුණ දුන් මිනිසා අද වන විට කෘෂි රසායනික ද්‍රව්‍ය භූගත වීම නිසා ඇතිවූ පිරිසිදු පානීය ජලය හිඟතාවයකට මුහුණ දෙමින් සිටියි.
ගංගා ඇල දොල, වැවු අමුණු, උල්පත්, ළිං, නළ ජලය ආදී මොන ප්‍රභවයකින් ගත්තත් අප පානයට ගන්නා ජලයේ ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය ෆ්හියවේ ඇත. ඒවා අපගේ පියවි ඇසට නොපෙනේ. එම රසායනික ද්‍රව්‍ය මෙන්ම කිවුල බැක්ටීරියා වැනි විවිධ ද්‍රව්‍ය ශරීර ගතවීමෙන් වකුගඩු අකර්මණ්‍යතාවය වැනි රෝගාබාධ ඇතිවිය හැකියි.
මෙරට ජාතික ව්‍යාසනයක් බවට පත්ව තිබෙන වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම හා එය නිවාරණය කිරීමට විසදුම් සෙවීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික හා සමාජ සංවිධාන බොහෝමයක අවධානය යොමු වී ඇති බව පෙනේ.
- රෝග කාරක සෙවීම
- වකුගඩු රෝගය ප්‍රාථමික අවදියේ දී හදුනා ගැනීම
- සෞඛ්‍ය කාර්ය මණ්ඩල හැකියාවන් ප්‍රවර්ධනය කිරීම රෝගයට ගොදුරු වූ ජනතාව දැනුවත් කිරීම
- වකුගඩු රෝගීන්ගේ දත්ත යාවත්කාලීන කිරීම
- රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතයෙන් වැලකී සිටීමට ගොවීන් දැනුවත් කිරීම
ආදී විවිධ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතී.
එනමුත් වකුගඩු රෝගයට සෘජුවම බලපාන පානීය ජල ප්‍රශ්නයට හා අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රශ්නයට සියයට සියයක විසඳුමක්, ව්‍යසනයට මුහුණ දෙන ජන කොටස් වලට තවමත් ලැබී නොමැත.
මෙම විශේෂිත අවශ්‍යතාවය සපුරාලීමේ කොටස්කරුවකු වෙමින් සිද්ධාලෝක පදනම ආරම්භ කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පූනෑව ගම්මානයේදී 2017-03-25 දින ජනගත කරන්නට ලැබීම “මිනිසුන් වෙනුවෙන් කැපවෙමු“ යන්න තේමා පාඨය කරගත් සිද්ධාලෝක පදනම ලත් ජයග්රහනයකි.
එකිනෙකාට උදවු කරගැනීමේ මාහැගි පදනම මත මිණිසා මුහුණ දෙනු ලබන විවිධ වූ ව්‍යසන හඳුනාගෙන අසරණ වූ ප්‍රජාව වෙනුවෙන් සරණවීමේ උදාර අරමුණ ඇතිව සැදුම් ලත් උපකාරක පදනමක් වූ සිද්ධාලෝක පදනම විවිධාකාරයෙන් සමාජ පීඩනයන්ට ලක් වූ අනාථ අත්හල විපතට හා දුකට පත් අසරණ වූ ප්‍රජාවන් සඳහා නන් අයුරින් සත්කාර ලබා දෙමින් සාරධර්ම දියුණු කරමින් දැණුම හා කුසලතා ඔප් නැංවීමට දායක වෙමින් ආකල්ප සංවර්ධනය කරමින් මෛත්‍රිය, භක්තිය, කරුණාව දයාව ආදී මිනිස් දහම් උද්දීපනය කිරීමට නිරන්තරයෙන් කැපවෙන පදනමකි.
අප පදනම මගින් මෙතෙක් කල් මිනිසුන් වෙනුවෙන් දියත් කළ ඇස් කණ්නාඩි බෙදා දීමී. ශ්‍රවණාධාර සැපයීම්, වියළි ආහාර බෙදා දීම්, පාසල් දරුවන්ගේ පොත්පත් හා අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම්, පන්සල් ප්‍රතිසංස්කරණය කිරීම්, කප්රුක් පූජා, බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා පැවැත්වීම් සහ වැඩිහිටි ප්‍රජාව සඳහා දාන මාන පිංකම් කිරීම්, මිනිසුන්ගේ සොම්නස දොම්නස සමග යාවත්කාලීන වීම් වලින් සෑහීමකට පත් නොවී මෙවැනි පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් දියත් කිරීමට ගත් උත්සාහයේදී ඉසවුව තෝරා ගන්නා මොහොතේ සිට එම සිහිනය යථාර්තයක් වන මොහොත දක්වා සිද්ධාලෝක පදනම සමග අත්වැල් බැදගත් පරිත්‍යාගශීලී සහෘර්දයන් සැමට පින් ප්‍රාර්ථනා කරන්නටත්, උදවු උපකාර කළ මඟ පෙන්වූ රජයේ නිලධාරීන් සැමට පින් ප්‍රාර්ථනා කරන්නටත්, අප සමග අත්වැල් බැදගත් පූනෑව අන්යෝන්යධාර සුභසාධක සමිතියේ සහෝදර කැලට කෘතඥතාවය පළ කරන්නටත්, මේ මාහැගි පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියේ පිහිටෙන් ප්‍රදේශවාසී සැමට නිරෝගී සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරන්නටත්, මෙය අවස්ථාවක් කරගන්නෙමු.