Close
සභාපතිතුමාගේ පණිවිඩය

මිහිමත වසන සෑම මනුෂ්‍යයෙකුම පරදත්ත ජීවියෙකි. රෝගාබාධ දිළිඳු බව ස්වභාවික විපත් මෙන්ම සමාජ අසාධාරණකම් මත විවිධාකාරයේ අභියෝගයන්ට හා සමාජ පීඩනයන්ට මුහුණ දීමට මිනිසාට සිදුවේ.

අනාථ අත්හල අසරණ ගණයට වැටෙන මොවුන් සමාජ සමානතාවය හා පරාත්ත බවින් අන්ත අසරණ බවට පත්වේ. එම ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා සමස්ත ලෝකවාසී ජනතාව විවිධ ස්වරූපයෙන් සංවිධාන ගතවී සිටිති.

ඒ අනුව හ්‍රී ලාංකික සමාජයේ ද ඉතා පුරාණ කාලයේ පටන් පරාර්ථ සේවය උදෙසා කටයුතු කරන මානව සංවිධාන බිහිවී තිබේ. ආගමික ඉගැන්වීම් හා සමාජ සංස්කෘතික ආකල්පයන්ගෙන් ඔප් නැංවෙන අපගේ සමාජ සංස්ථාව තුල මෙම පරාර්ථකාමී බව විශේෂයෙන් ආරෝපනය කල යුතු දෙයක් නොවේ.

අසරණවූවන්ට පිහිට වීමේ උතුම් මිනිස් ගුණය අනගි සමාජ මෙහෙවරක ගෞරවනීය පිළිගැනීමට පාත්‍ර වේ. 

මිනිස් කමේ මාහැගි ගුණය ඉස්මතු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමේ උදාරතර මානව ක්‍රියාවලිය විවිධ ප්‍රදේශවල සිද්ධාලෝක පදනම මගින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා සත්කාර සේවාවන් තුළින් මනාව පැහැදිලි වේ.

ඒ අතර විශේෂඥ වෛද්‍ය සේවා පැවැත්වීම, අක්ෂි සායන පැවැත්වීම, අක්ෂි කාච ලබා දීම, ඇස් කණ්ණාඩි ලබා දීම, වකුගඩු රෝගයට ගොදුරු වන ජනතාව වෙසෙන දුෂ්කර ගම්මාන හඳුනාගෙන පිරිසිදු පානිය ජල ව්‍යාපෘති ඉදිකර දීම, ශ්‍රවණාධාර, රෝද පුටු , දිළිඳු දරුවන් සඳහා අවශ්‍ය පොත්පත් ලබා දීම, ආගමික සිද්ධස්ථාන පිළිසකර කරදීම හා අනෙකුත් සමාජ සත්කාරයන් සදහා අවශ්‍ය ආධාර උපකාර සිදු කෙරෙමින් පවතී.

නිස්සරණධ්‍යාසයෙන් කටයුතු කිරීමෙන් ලබන තෘප්තිය, ජීවිතය පුරා බැඳී පවතින්නකි.

මෙවැනි පරමාර්ථ සහිතව සිද්ධාලෝක පදනම හා බැඳී සිටින සත් ජනයන්ගේ සහෘද ක්‍රියාදාමය, එළඹෙන අභියෝග බිඳ දැමීමේ යෝධමය ශක්තිය නිර්මාණය කරයි. අවංක හදවතකින් නැගී එන පුන්‍ය චේතනාව මෙන්ම ප්‍රඥාභිමුඛ ක්‍රියාමාර්ග ඔස්සේ ජනිතවන කුසල චේතනා උභයාර්ථ චර්යාවේ සාධනීය පදනම ගොඩ නගයි. තම තමන්ගේ දෛනික ජීවිත සාර්ථක වීමට මෙම කුසල චේතනා තුළින් ජනනය වන අසීමිත ආශිර්වාද ශක්තිය පිළිසරණක් වනු ඇත.

මෙම උදාර සත්කාර සේවාවන් සඳහා අප හා එක්වන ලෙස මානව දයාව පිරි සංවේදී හදවත් ඇති ඔබට ආරාධනා කරමි.